www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ළදරුවෙකු මෙන් වීම.

පළමු කොටස

මෙලොව අපව උතුම් පුද්ගලයන් බවට පත් කිරීමට හේතුවන යමක් ඇත්නම් ඒ කාරණය වැදගත් වන්නේ එය අපගේ ජිවිතයේ සාර්ථකත්වයටද අත්තිවාරම වන හේතුවයි.

එසේම දෙවියන්වහන්සේ ඉදිරියේද අපව උතුම් පුද්ගලයන් බවට පත් කිරීමට උපකාරීවන යමක් ඇත්නම් ඒ කාරණය පවා අපට වැදගත් එකක් වන්නේ, එවිට ලෞකික පැත්තෙන් පමණක් නොව නුමුත් අපට අපගේ ආත්මික පැත්තෙන්ද මේ ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවන වන නිසායි.

බොහෝවිට අපි අපගේ ලෞකික ජීවිතය පමණක් සාර්ථක එකක් කරගැනීමට මහන්සි වන්නේ, ආත්මික පැත්තක්ද මිනිස් ජිවිතයට තිබෙන බව අප නොදන්නා හේතුවයි.

මරණින් මතුව ඇති අපගේ ඒ ජීවිතය නොපෙනෙන නිසාත් බොහෝදෙනා ඒ ගැන සැලකිලිමත් නොවෙනා අතර තවත් සමහරුන් ඒ ගැන නොසලකා සිටින්නේ, මරණින් මතුව ඇති අපගේ ඒ ජීවිතයට අපගේ මේ ලෞකික ජිවිතයත් සමග කිසි සම්බන්ධයක් නැතිබවත් සිතා සිටීමයි.

නුමුත් බයිබලයේ ඇති යේසුස් වහන්සේගේ ඉගැන්වීම පෙන්වාදෙන්නේ, දිනපතා ගොඩනැගෙන අපගේ මේ ලෞකික ජීවිතයත් සමග එකට සම්බන්ධවී අපගේ ආත්මික ජීවිතයත් වර්ධනය වන බවයි.

එසේ පැවසීමෙන් උන්වහන්සේ අදහස් කරන්නේ, අපගේ ආත්මික ජීවිතය සහ ලෞකික ජීවිතය දෙකක් නොව නුමුත් එකක් යන අදහසයි.

එබැවින් අපගේ ලෞකික ජිවිතයේ වර්ධනය වෙනුවෙන් අප දිනපතා මහන්සිවී ක්‍රියා කරන ආකාරයෙන්ම අපගේ ආත්මික පැත්ත වෙනුවෙන්ද අප උවමනාවෙන් ක්‍රියා කල යුතු වන්නේ, ඒ පැත්ත ඉබේම ගොඩනැගෙන්නක් නොවෙනා හේතුවයි.

එසේ නම් එය පවසා සිටින්නේ, අපගේ මේ ජිවිතයට සම්බන්ධවී ඇති ඒ ලෞකික පැත්ත මෙන්ම ආත්මික පැත්තේ සාර්ථකත්වයත් අප අතේ රැඳී තිබෙන බවයි. එබැවින් ඒ ගැන අවබෝධයෙන් සිටීම ඇදහිලිවන්තයාට වැදගත් වෙයි.

අද දින අප සාකච්චා කිරීමට බලාපොරොත්තුවන මේ මාතෘකාව කෙතරම් දුරට ඔබට වැදගත් එකක් වන්නේ දැයි මට නොපෙනුණත්; ලෞකික ජීවිතය පමණක් නොව නුමුත් ඒ හා සම්බන්ධ වී ඇති අපගේ ආත්මික පැත්තත් සාර්ථක එකක් කරගැනීම වෙනුවෙන් යේසුස් වහන්සේගේ ගෝලයන් පවා උනන්දු වූ බව බයිබලයේ ඇති වාර්තා පෙන්වාදෙයි.

යේසුස් වහන්සේගේ ගෝලයන් ඒ ගැන උන්වහන්සේ ගෙන් කරුණු විමසා සිටියේදී, යේසුස් වහන්සේද උදාහරණ ඇතුව ඒ පිලිබඳ කරුණු කාරණා තේරුම් කරදීම දැකීමද පෙන්නුම් කරන්නේ, ක්‍රිස්තියානි ජිවිතයට ඒ විෂය වැදගත් එකක් වු බවයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ යොදාගත් උදාහරණය මතෙව්ගේ ශුභාරංචි පොතේ මෙසේ සටහන් වෙයි.

"ඒ පැයේදී යේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ ලඟට ඇවිත්; යමෙක් ස්වර්ග රාජ්‍යයේ උතුම් වන්නේ කොහොමද යයි ඇසුවෝය. උන්වහන්සේද කුඩා දරුවෙකු තමන් ලඟට කැඳවා ඔවුන් මැද සිටුවා, සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි, නුඹලා හැරී කුඩා දරුවෙකු මෙන් නූනොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයේද උතුම් නොවන්නේය, යනුවෙන් පැවසිය."
-මතෙව් 18:2-3

මොලොව පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ පවා උතුම් අයෙකු සේ ජීවිතය සාර්ථක කරගන්නේ කෙසේද? යනුවෙන් ගෝලයන් එදා ඒ ගැන උන්වහන්සේ ගෙන් විමසා සිටියෙදී; යේසුස් වහන්සේ විසින් ඔවුන්ට දෙනු ලැබූ පිළිතුරද පුදුම සහගත එකක් වන්නේ, ඒ ගැන පහදාදීමට උන්වහන්සේ යොදාගත් උදාහරණය සම්ප්‍රධායට විරුද්ධ එකක් වීමයි.

යේසුස් වහන්සේ කුඩා ළදරුවෙක් ඔවුන් මැද හිදුවා, ඒ දරුවා පෙන්වමින්, නුඹලා ගෙන් කවරෙක් නුමුත් ඇතුළතින් මේ කුඩා ළදරුවාසේ වෙනස් නොවන්නේ නම්, කිසි විටෙකත් ස්වර්ග රාජ්‍යයේ උතුම් නොවන්නේය යනුවෙන් ඔවුන්ට පිළිතුරු දුන් බව එහි සඳහන් වෙයි. ජිවිතයේ ලෞකික පැත්ත මෙන්ම ආත්මික පැත්තත් ජයගන්නේ කොහොමද යන ඒ ප්‍රශ්ණයට අවශ්‍යය පිළිතුර ඒ තුලින් පිළිඹිඹු වෙයි.

යේසුස් වහන්සේ ජීවත්වූ කාළයේදී , උන්වහන්සේ ජීවත්වූ ජනසමාජය තුළ පිළිගත් සංස්කෘතියට අනුව ළදරුවන් හෝ ළමුන් සමාජයේ විශේෂ කොටසක් ලෙසින් පිලිනොගන්නා ලදී.

මේ පිළිගැනීම දරුවන්ට පමණක් නොව නුමුත් ස්ත්‍රීන් කෙරෙහිද බලපෑ එකක් බවත් ඉතිහාසය දෙස බැලීමේදී අපට පැහැදිළිවම පෙනෙයි. එබැවින් එවැනි සමාජය පිළිනොගත් කණ්ඩායමක් උදාහරණයට ගනිමින් ඔවුන් මෙන් ජිවිතයට මුහුණ දීමට ඉගෙන ගන්නා ලෙසින් යේසුස් වහන්සේ එදා කල ඒ ඉගැන්වීම සැබවින්ම පුදුම එකකි.

යේසුස් වහන්සේ විසින් එදා තම ගෝලයන්ට උගන්වන පිණිස උදාහරණයක් ලෙසින් ගත් මේ ආදර්ශය තුල දැකිය හැකි අනෙක් පුදුමය වන්නේ; එය සාමාන්‍යයෙන් ලෝකයා සිතන ආකාරයට වඩා වෙනස් එකක් වූවාටත් වඩා ප්‍රතිවිරුද්ධ එකක්ද වීමත් දැකීමයි.

ජීවිතය ගැනවත්, හෙට දවස ගැනවත්, ලෝකය ගැනවත් කිසිවක් නොදත් "කුඩා දරුවෙකු" මෙන් සිතන්න, ක්‍රියා කරන්න, ජීවත්වන්න ඉගෙන ගන්න, යනුවෙන් ඒ ගැන ගෝලයන්ට දුන් මේ ඉගැන්වීම, ලෝකයේ පැත්තෙන් පවා මෝඩ අදහසක් බවත් හොඳින් පෙනෙන්නේ, ජීවිතය ජයගැනීමට නම් කුඩා දරුවන් මෙන් නොව නුමුත් මුහුකුරා ගිය වැඩිහිටියන් මෙන් ක්‍රියා කිරීමට අවශ්‍යය බව අප හොඳින් දන්නා නිසායි.

අප රටේ පවා කුඩා ළමුන් පමණක් නොව නුමුත් යෞවනයන් හෝ ස්ත්‍රී පක්ෂයද සුළුකොට සලකන අවස්තාවන් දැකිය හැකියි. සමහර අවස්ථාවන් වලදී උගතුන් වැඩිහිටියන්ගේ සමහර ක්‍රියාවන් පෙන්වාදෙමින්; "මේ අය වැඩකරන්නේ හරියට ළමයින් වාගේ නේ" යනුවෙන් මේ අදටත් බොහෝදෙනා පවසන ඒ ප්‍රකාශය පිටුපසින් ඇති අදහස වන්නේද, දැනුම අතින් හෝ අත්දැකීම අතින් හෝ ආදර්ශය අතින් හෝ යමක් ළමුන්ගේ ක්‍රියා තුලින් බලාපොරොත්තු විය නොහැකි බවට ඇති ඒ පිළිගැනීමයි.

බොහෝවිට එයින් අදහස් කෙරෙන්නේ, දරුවන්ට වැඩිහිටියන් ආදර්ශයක් වනවා මිසක්, දරුවන් ගෙන් වැඩිහිටියන්ට ඉගෙන ගත හැකි දෙයක් හෝ ආදර්ශයක් නොවෙනා බවත් පෙන්වාදීමයි.

ස්වභාවයෙන් ළමුන් තුල උගත්කමක් නොවන්නේ, ඔවුන් ඉගැනීම හමාරකර නොමැති වීමේ හේතුවයි. ඊට අමතරව ජිවිතයේ ගැඹුරු අත්දැකීමද ඔවුන්ට නොවන්නේ ඔවුන් තාමත් ළමුන් වන නිසායි . එබැවින් උගත් සමාජය ළමුන්ගෙන් යම්කිසි දැණුමක් හෝ අවවාදයක් හෝ ආදර්ශයක් බලාපොරොත්තු නොවෙයි.

ඊට අමතරව ළමුන්ගේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ, ඔවුන් තම ජීවිතය වෙනුවෙන් සියයට සියයක්ම තම වැඩිහිටි දෙමාපියන් මත රැඳී සිටීමේ හේතුවයි. එබැවින් ලෝකය අනෙක් පැත්තට පෙරලුනත් ළමුන්ට එය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන් තම වැඩිහිටි දෙමාපියන් කෙරෙහි පමණක් විශ්වාස තබා තිබීමද වීමයි.

ඕනෑම උවමනාවක් වෙනුවෙන් කුඩා දරුවන් තම වැඩිහිටි දෙමාපියන්ගේ සරණ පමණක් පතයි. බඩගිනි වු විගස ඔවුන් දුවන්නේ තම වැඩිහිටි දෙමාපියන් වෙතටයි. තම දෙමාපියන් තමුන්ට කෑම ලබාදෙයි යන විශ්වාසය එයට හේතුවෙයි. නුමුත් තම දෙමාපියන් ඒවා ඔවුන්ට ලබාදෙන්නේ කොහොමද යන ප්‍රශ්නය ගැන ළමුන් උනන්දු නොවෙයි. ඒ ආකාරයෙන්ම යම් අනතුරක් දැනුන විගසම ඔවුන් තම වැඩිමහල් දෙමාපියන්ගේ ඇඟේ එලලෙන්නේද, දෙමාපියන් ඒවායින් ඔවුන්ව ගලවා ගනියි යන විශ්වාසය උඩයි.

ඒ අනුව ළමුන්ගේ අවධානය සැමවිට ඒ අවස්තාව මත පමණක් රැඳී තිබෙනු පෙනෙයි. උදාහරණයක් ලෙසින් බඩගින්නට කෑම ලැබූ විගසින් ඔවුන්ට බඩගින්න අමතක වී යන්නේ ඔවුන් ඒ අවස්තාව තුල ජිවත්වන නිසායි. ඔවුන් රෑට කන්නේ මොනවාදැයි කියා වැඩිහිටියන් සේ ඒ ගැන කල්පනා නොකරන්නේද දෙමාපියන් ගැන ඇති බලාපොරොතුව නිසායි. එබැවින් ජිවත්වන ඒ අවස්තාව තුල ජිවත්වන ඔවුන් ඒ තුල සැහැල්ලුවෙන් සිටින්නේ ළමුන් තම දෙමාපියන් කෙරෙහි රැඳී සිටින හේතුව උඩයි.

දරුවන්ට ජීවිතය බරක් නොවුනත් වැඩිමහල් වන අපට ජීවිතය ගැන සැහැල්ලුවෙන් සිතීමට හෝ ක්‍රියා කිරීමට නොහැකිවන්නේ, ජිවිතය යනු බොහෝ වගකීම් වලින්ද පිරුණ එකක් වීමයි. මොලොව ජීවිතය ඉබේ ගොඩනැගෙන්නක් නොව නුමුත් එය අපි එකිනෙකා විසින් මහන්සියෙන් ගොඩනගා ගතයුතු එකක්ද වන බැවින් ඒ ගැන සැහැල්ලුවෙන් ක්‍රියා කිරීමට වැඩිමහල්ලන්ට හැකි නොවෙයි.

නුමුත් මෙහිදී අපි දකින පුදුමය වන්නේ, යේසුස් වහන්සේ මෙහිදී ඒ ලෝකයේ ස්වභාවික ව්‍යවහාරය මාරුකර උගන්වනු දැකීමයි. එබැවින් ඇයි යේසුස් වහන්සේ එසේ එවැනි උදාහරණයක් තුලින් උගන්වන්නේ යන්න ගැනත් සිතා බැලීම වැදගත් වන්නේ යේසුස් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගන්නා පිණිසයි.

යේසුස් වහන්සේ මෙහිදී තම ගෝලයන්ට කියාදෙන මේ ගුරුකම ආත්මිකව මෙන්ම ලෞකිකවද වැදගත් එකක් වන්නේ, ඒ තුලින් අපට මෙලොව ලෞකික ජීවිතය පමණක් නොව නුමුත් අපට අපගේ ආත්මික පැත්තද එකවරම සාර්ථක කරගැනීමට හැකි නිසායි. එබැවින් අපගේ එදිනෙදා ලෞකික ජීවිතය ජයගැනීම වෙනුවෙන් අප කිරීමට පුරුදුවී සිටින සාමාන්‍යය ක්‍රියාවන් යේසුස් වහන්සේ පෙන්වාදෙන ආකාරයට වෙනස්කරගෙන ව්‍යවහාර කිරීමට ඉගෙන ගන්නේ නම්, එවිට අපට මේ අරමුණු දෙකම එකවර ජයගත හැකිවෙයි.

ලෝකයේ ආකාරයට මොලොව ජීවිතය ජයගන්නා පිණිස අපි වැඩිමහල්ලන්සේ කටයුතු කරනවා යයි කියන්නේ, අපගේම ස්වකිය ශක්තියෙන් සහ මහන්සියෙන් වැඩකර දියුණුවීමක් ගැනයි. එසේ වගකීමෙන් යුතුව ජිවිතය ගැන සිතීම මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමද එයට ඇතුළත්වෙයි. ඒ වෙනුවෙන් සමහරුන් ඕනෑම දෙයක් කිරීමට පෙළෙඹෙන්නේද වැඩිහිටියන් වනවාටත් වඩා ඒ තුලින් ලෞකික ජීවිතය ජයගන්නා පිණිසයි. එබැවින් මෙලොව ජීවිතය ජයගැනීම වෙනුවෙන් අපි ක්‍රියා කරන්නේ අපගේම ස්වශක්තිය යොදාගෙනයි. ඒ ලෞකික ජීවිතයේ අප ඉගෙනගෙන සිටින ව්‍යවහාරයයි.

නුමුත් දැන් අපි යේසුස් වහන්සේගේ ජිවිත පුජාව තුලින් පාපයට සමාව ලබාගෙන දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසින්ද පෙනීසිටින නිසා අපගේ මේ ලෞකික ජිවිතයට තවත් පැත්තක්ද හිමිවෙයි. ඒ පැත්තේ වගකීම අප එකිනෙකා අභිබවා දෙවියන්වහන්සේ තෙක්ම ගමන් කරන්නේ දැන් අපි දෙවියන්වහන්සේට අයත් උන්වහන්සේගේ "දරුවන් වීමේ" හේතුවයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දැන් අපගේ ජිවිත පමණක් නොව නුමුත් අපගේ ආත්මය පවා දෙවියන්වහන්සේට අයත් වන නිසා, ඒ සම්බන්ධය දෙවියන්වහන්සේගේ දිව්‍යමය ආශීර්වාදයට හිමිකම් කීමටත් මාර්ගය විවරකරයි.

අපේ පැත්තෙන් අපි දෙවියන්වහන්සේට කීකරුව උන්වහන්සේ අදහන ඇදහිලිවන්තයන් ලෙස දෙවියන් ඉදිරියේ පෙනිසිටියත්, දෙවියන්වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේ අප ගැන සලකන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පව් සමාව ලද උන්වහන්සේගේ දරුවන් හැටියටයි. එබැවින් ඇදහිලිවන්තයා ගේ මේ ලෞකික ජීවිතය මෙන්ම ආත්මික ජීවිතයත් දෙවියන්වහන්සේට අයත් වූ ජිවිතයක් ලෙසින්ද මොලොව ක්‍රියාවට නැගෙයි.

යේසුස් වහන්සේ යොදාගත් ඒ උදාහරණයද මේ පින්තුරය මැනවින් පැහැදිලි කරයි. අපි දෙවියන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ ලෙසින් පිළිගෙන විශ්වසකරමින් අදහන විට උන්වහන්සේද අපගේ දෙවියන්වහන්සේ වනවා පමණක් නොව නුමුත් උන්වහන්සේ අපගේ ආත්මික පියාණන් වහන්සේ බවටද පත්වෙයි. මෙසේ දෙවියන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ වන අතර අපිද උන්වහන්සේගේ දරුවන් යන උරුමය ඇතුව මෙලොව පෙනිසිටියි.

කුඩා දරුවෙකු ආදර්ශයට අරගෙන යේසුස් වහන්සේ මෙහිදී තම ගෝලයන්ට පෙන්වාදෙන්නේ ඒ ආදර්ශයයි. දරුවන් සහ දෙමාපියන් අතර ඇති ඒ ලෞකික බැඳීම මෙන් බැදීමක් අපත් දෙවියන්වහන්සේ සමගත් ගොඩනගාගෙන ජීවත්වන්නේ නම්, එවිට අපටත් ලෝකයේ දරුවන් තම ලෞකික දෙමාපියන් කෙරෙහි බලාපොරොත්තුවෙන් ජීවත්වනවා වාගේම, අප වැඩිහිටියන් වුවත් අපටත් අපගේ ආත්මික පියාණන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබීම තුලින්ද මෙලොව ජීවිතය ජයගත හැකි බවයි.

මෙහිදී "මෙලොව ජීවිතය" යන ඒ වචන දෙකට අපගේ ලෞකික ජීවිතය මෙන්ම ඒ තුල ගොඩනැගෙන අපගේ ආත්මික (පැත්ත) ජීවිතයත් අඩංගු වෙයි.

එබැවින් දේව රාජ්‍යයටද සම්බන්ධ වී ඇති අප ජිවිතයේ මේ ප්‍රධාන කොටස් දෙකම දෙවියන්වහන්සේට සම්බන්ධවී එදිනෙදා ජීවිතයත් සමග එකට ගොඩ නැගෙන්නක්ද වන බැවින්, ඒ කොටස් දෙකේම සාර්ථකත්වය වෙනුවෙන්ද කීකරුකමත් අවශ්‍යය බව උන්වහන්සේ පෙන්වාදෙයි. ලෞකික දරුවන් තම දෙමාපියන්ට කීකරුව ඔවුන් කෙරෙහි බලාපොරොත්තුව තබා මොලොව ජිවත්වන ආකාරයෙන් (උදාහරණය පෙන්වාදෙන ලෙසින්) එබැවින් වැඩිහිටි අපත් අපගේ දෙව් පියාණන් ඉදිරියේද කීකරුවී දරුවන් මෙන් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබීමට ඉගෙන ගන්නා විට, අපගේ මේ ලෞකික ජීවිතය මෙන්ම ඒ ජිවිතයට අයත් අපගේ ආත්මික පැත්තත් සාර්ථක මෙන්ම යහපත් එකක් බවටත් පෙරලා ගත හැකි බවත් උන්වහන්සේ පෙන්වයි.

මෙසේ දෙවියන්වහන්සේ ඉදිරියේ "දරුවන් මෙන් කීකරුවීම" තුලින්ද අපට මේ ලෞකික ජීවිතය මෙන්ම මරණින් මතුවටත් බලපාන අපගේ ඒ ආත්මික පැත්තත් ජයගත හැකිවන්නේ, උන්වහන්සේ අපට පියෙක් ලෙසින්ද සම්බන්ධවන නිසාත් එබැවින් පියෙකු තම දරුවන් ගැන සලකන ලෙසින් අප ගැන සලකන බවටත් උන්වහන්සේම අපට දී ඇති පොරොන්දුවත් නිසායි.

ඇදහිලිවන්තයන් වන අපගේ මෙලොව ලෞකික ජිවිතයේ ජයග්‍රහණය මෙන්ම අපගේ ආත්මික ජිවිතයේ ජයග්‍රහණයත් එබැවින් දෙවියන් ඉදිරියේ අවංකව කීකරුවීම තුල රැඳී තිබෙනා බව උන්වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදෙයි.

දෙමාපියන් තමුන් කෙරෙහි බලාපොරොත්තුවෙන් රැඳී සිටිනා ඔවුන්ගේ කීකරු දරුවන් ගැන සැලකිල්ලෙන් ක්‍රියා කරන මෙන්, ( ඔවුන්ගේ ජීවිතය වර්ධනය වෙනුවෙන් කටයුතු කරනා අයුරින්) වැඩිහිටි ඇදහිලිවන්තයන් වන අපත් දෙවියන්වහන්සේ අපගේ පියාණන් කරගනිමින් කීකරු දරුවන් සේ උන්වහන්සේගේ කැමැත්ත සොයමින් කීකරුව ජීවත්වීමට උත්සාහ දරනවිට, අපගේ දෙව් පියාණන් වහන්සේත් අපි ගැනත් සැලකිල්ලෙන් ක්‍රියා කරන බවත් යේසුස් වහන්සේගේ ඉගැන්වීම පැහැදිලි කරයි.

මේ ලෞකික ලෝකයේ දෙමාපියන් තම කීකරු දරුවන් ගැන සැලකිලිමත් වී ඔවුන්ගේ දිනපතා අවශ්‍යයතාවයන් ගැන විමසිලිමත් වනවා වාගේම අපගේ දෙවි පියාණන් වහන්සේද උන්වහන්සේට කීකරුවී උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබා ජිවත්වන දේව දරුවන් ගැන නොසලකා නොසිටින බවත් එයින් පැවසෙයි.

එබැවින් මොලොවින් ආරම්භවී මරණින් මතුවටත් ගමන් කරන අපගේ මේ ලෞකික මෙන්ම ආත්මික ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් දෙවියන්වහන්සේට කිකරුවිම, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇදහීම මෙන්ම උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබීමත් ඇදහිලිවන්තයන් වන අපට වැදගත් වන්නේ, ජිවිතය සාර්ථක එකක් කරගැනීමට අපට ඇති මාර්ගය එය පමණක් වීමයි.

එසේනම් මරණින් මතුවට ඇති ඒ ජීවිතය වෙනුවෙන් පමණක් නොව නුමුත් මෙලොව අප ජිවත්වන මේ ලෞකික ජීවිතය පවා ජයගැනීමට දෙවියන්වහන්සේ ඉදිරියේ අප කලයුත්තේ කුමක්ද යනුවෙන් පෙන්වාදුන් යේසුස් වහන්සේ ගේ ඒ ඉගැන්වීම වෙතට ඇදහිලිවන්තයන් හැටියට අපගේ අවධානය යොමුකිරිම වැදගත් වන්නේ මොලොව ජීවිතය මෙන්ම අපගේ එලොව ජීවිතයත් සාර්ථක එකක් කරගන්නා පිණිසයි.

**පාඩම කොටස් දෙකකින් යුතු වන අතර පළමු කොටස මෙතැනින් අවසන් වෙයි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)